Wednesday, October 10, 2012

සිවුර වෙලේ අපේ හාමුදුරුවනේ....













එකමත් එක ගම්මානයක ලස්සන හරිත පැහැ කුඹුරු යායකින් වටවුනු පරණ පන්සලක් තිබුණා.

මේ පන්සලේ වැඩ වාසය කළේ තලත්තෑනි වයසේ පසුවුනු ලොකු හාමුදුරුවොත්, ළඟදී මහණ වුණු පොඩිම පොඩි හාමුදුරු නමකුත් , පන්සලේ පොඩි පොඩි වැඩ වලට එහා මෙහා දුවන ඇබිත්තයත් විතරයි විතරයි.

ඉතින් දවසක් අපෙ මේ පොඩි හාමුදුරුවෝ පන්සලට එපිටින් තිබුණු ගඟට නාන්න ගියා.පුංචි හාමුදුරුවන්ගේ ගිහිකාලේ යාළුවෝ සමූහයත් ඉතින් මේ වෙලාවට හරියටම ''අහම්බෙන්'' නාන්න එනවළු හැමදාම.                ඒ කොහොම වුනත් දවසක් ගඟට නාන්න ගිහින් ආපු පොඩි හාමුදුරුවෝ ළගට කතාකරගනිපු ලොකු හාමුදුරුවෝ මෙහෙම ඇහුවා.


''පොඩි නම මොකද මෙච්චර වෙලාවක් කළේ ?''

''ලොකු හාමුදුරුවනේ මම ගඟට නාන්න ගියා,නාන තො‍ටුපලේ කුඹුක් ගහේ අත්තට නැගලා වතුරට පැන්නා , හොඳට නාගත්තා.  ඊට පස්සේ ආපහු පන්සලට ආවා''  කියලා පොඩිනම උත්තර දුන්නා.

ලොකු හාමුදුරුවෝ හිනාවෙලා මෙහෙම කිවුවා,  ''චීවරය පොරවාගත්තම අපි ඒකට ගරු කරන්න ඕන, අපි කතාකරන්නෙත් වෙනස් විදියකට.  මහණ වුනාට පස්සේ  කනවා කියන්නේ නෑ,  වළඳනවා කියනවා,  යනව එනවා කියන්නේ නෑ වඩිනවා කියනවා.  එහෙමයි අපි කතා කරන්න ඕන.  පොඩි නමත් මේව හොඳට හිතට ගන්න.''
ලොකු හාමුදුරුවෝ ඉතාම කරුණාවෙන් තමන්ගේ ගෝලයට කරුණු කාරණා කියල දුන්නා.

පොඩි නමත් මේක හොදට අහගෙන ඉදලා,  ඔළුව වනලා ආවාසගෙය ඇතුළට ගියා.


ඔහොමින් ඔහොම ටික දවසකින් ආයෙමත් අපේ පොඩි හාමුදුරුවෝ නාන්න ගඟට ගියා.
හරියටම එදාත් හවස ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවොන්ට කතාකරලා ඇහුවා,
 ''පොඩි නම අද මොනවද කරේ කියලා?''

මෙන්න අපේ සාමණේර නම එතකොට මෙහෙම කිවුවා.

''ලොකු හාමුදුරුවනේ අද හරිම වැඩේ නේ වුණේ,  මම අද ගඟට වැඩලා,  කුඹුක් අත්ත දිගේ උඩට වැඩලා, ආයෙම උඩ ඉදන් ගඟට වැඩියා. මෙහෙම කීප වතාවක්ම වැඩලා හොඳට නාගත්තා. මම ආපහු පන්සලට වඩිනකොට මගේ පස්සේන් බල්ලෙක් බුරාගෙන වැඩියෙ නැතැයි, හාමුදුරුවනේ මාව වළඳන්න.  මම නියර දිගේ වැඩ්ඩ වැඩිල්ලට සිවුර වෙලේ අපේ හාමුදුරුවනේ.....''

No comments:

Post a Comment