Friday, January 11, 2013

පළමු මල් අස්වැන්න












අපි දෙන්නා හිටියේ එකම නැ‍ටුම් පන්තියේ. 
එයා මට වඩා මාස ගණනක් බාලයි, මුල් දවස්වල මං කිව්වේ මල්ලී කියලා. පොඩි දවස්වල ඉඳලම මං නැ‍ටුම් වලට ආසයි.  අනෙක, මං හැදුණෙත් කොල්ලෙක් වගේ දඩබ්බර විදියට.නටන්න විතරක් නෙමේ; චිත්‍ර අඳින්න , නිවේදන කටයුතු කරන්නවගේ දේවලුත් මට හොඳට පුළුවන්.

මගේ පාසල් කාලය ගෙවුණේ බාලිකාවක.  ඒත්, කලායතනේ නිසා මට පිරිමි ළමයි එක්ක  නටන්න , ගයන්න , ජීවත් වෙන්න ලොකු අවස්ථාවක් ලැබිලා තිබුණා. වර්ෂ අවසානේ අපි විනෝද චාරිකාවක් යමින් හිටියෙ. මගේ ගම් පළාතෙන් යන නිසා පාර පෙන්නමින් මං හිටියේ රියදුරු අසුන ළඟ.  අර මල්ලිත් ඉස්සරහට ඇවිත් පාර පෙන්නුවා. එයා ඒ පළාතේ නොවුණත් එහේ ටියුෂන් ආව බව කිව්වා. අන්න ඒ මොහොතේ තමයි මං කවදාවත් අපෙක්ෂා කරපු නැති දෙයක් සිද්ධ වුණේ. 

ඉස්සරහා ආසනේ ගාව නැමිලා දකුණු අත පාර දිහාට දිගුකරලා පෙන්වන අතරේ මගෙ  අතට උඩින් ගිය ඔහුගෙ වම් අත මගේ අතේ ස්පර්ශ වුණා. මගේ මුලු සර්වාංගයම හිරිවැටිලායන, කිසිම දවසක  වචනවලින් කියන්න බැරි ස්පර්ශයක් ඒක.
කොල්ලොත් එක්ක ඕනතරම් අතින් අල්ලගෙන නටලා, සිංදු කියලා, දුවලා, පැනලා තියෙන මට මේ තත්පරය තෙරුම් ගන්න බැරිතරම් ආගන්තුකයි. ඒ චකිතයත් එක්කම මං හෙමිහිට ඇස්දෙක කරකවලා බෙල්ල පොඩ්ඩක් හරවලා සීරුවට ඔහු දිහා බැලුවා. ඔහුගේ ඇස්දෙක පාර දිහාට යොමුවෙලා තිබුණෙ. අපි කොයිතරම් ළං , ළංව සිටියාද කියනවානම් ඔහුගෙ සුසුම්වල උණුසුම මගේ කම්මුල්වලට දැණුනා. බෙර ගහලා තුවාල වෙලා තිබුණ අත්වල ගාලා තිබුණු බෙහෙත් තෙල් සුවඳ මගේ නැහැයට දැනුණා. මගේ පපුව කවදාවත් නැති තරම් තදින් උණුසුම්ව ගැහෙනබව මට තේරුණා. ඇස් දෙක පියාගන්න තරම් ලෝබකමක් දැනුණ ඒ නිමේෂයේ මම එතැනින් නැගිටලා පැනලා ගියා. ඒ දැනුන හැඟීම තෙරුම් ගන්න මිසක් ඒකට නමක් දෙන්න මට ඕන වෙලා තිබුණෙ නෑ.

ඊට පස්සේ හැම මොහොතකම මගේ ඇස් දෙක එයාව හෙව්වා. මට හැර වෙන කාටවත් සැක හිතෙන ජාතියේ ඇසුරක් නෙවෙයි අපි අතරෙ තිබුණෙ. දවසක් රෑ වුණ නිසා මං මල්ලිගෙ බයිසිකලෙන් බෝඩිමට ආවා. කළුවර ගලමින් තිබුණ වැහි අඳුර එබිකම් කරන ඒ හැන්දෑවෙ ගස්වැල් තාලයට නටමින් අපි දිහා බලාගෙන හිටියා. මගෙ දිගු කෙහෙ‍රැලි එයාගේ මුහුණට වදදෙනකොට අර එදා බස් එකෙදී දැණුණ උනුසුම් සුසුම් ආයෙත් මගේ කම්මුල ළඟ ඳඟ කළා.  ඒ  සොඳුරු තත්පරයේ නිහඬ බව බිඳිමින් ඔහු මෙහෙම කිව්වා.

'' ඔයාට අක්කා කියන්න මට ලෝබ හිතෙනවා.'' 



මං හිතන්නේ ඒ වෙලාවේ ලෝකෙ කරකැවෙන එක නතර වුණා. ගස්වල  හිටිය කුරුල්ලො කෑගැහුවා. සුළ‍ඟෙ නටමින් හිටිය ගස්වැල් මග දිගට කොළ අතෑරියා. මං දෙපාරක් හිතන්නෙ නැතුව මෙතෙක් අහපු ලස්සනම වචන ටික ඉස්සරහා මෙහෙම කිව්වා.

''ඉතින් මට රේණු කියලා කියන්න.''

ඊට පස්සේ දින , සති , මාස ගෙවිලා ගියේ එයාටවත් , මටවත් ඕන විදියට නෙවෙයි.  අපිට ඕන විදියට.
 සිනමා, නාට්‍ය, චිත්‍ර, සංගීත වැනි සවුන්දර්ය අංග අතර ගෙවුණු අපේ ජීවිතේ එක්වර රසවිඳින සහුර්දයන් වුනේ දැනුවත්වම. සතුට දෝරේ ගලන, දුක ඇස්වලට තේරෙන ජවනිකා නරඹද්දී ඔහු මගේ අතින් අල්ල ගත්තා.  මට අත අහකට ගන්න අමතක වුණා.
 මං කෑවද, ගමේ ගියාද, නැත් ද කියලා ඔහු නිතරම හොයලා බැලුවා. එයා මට සමහර නීති පැනෙව්වා. මං ඒවට අවනත වුණේ ඕනෑකමින්. රණ්ඩු නොවුණා නෙවෙයි. ඒ ආපහු යාළු වෙනකම් විතරයි.  හැම ලස්සන දෙයකදීම, තැනකදීම මට එයාව මතක් වුණා......'' 



මෙම අතිශය දයාබර ආමන්ත්‍රණය විඳිමින් සිටින ඔබට බාධා කළ යුතු යැයි  මට හැඟේ. 
ඒ එහි අවසානය එතරම් සොඳුරු නොවන නිසාය.

මෙම කතාව තෙපළන කතා නායිකාව  දැන් සිටින්නේ රෝහල්ගතවය. ඇගේ සුඛාන්තය  ඇරඹුනාටත් වඩා වේගයෙන් ඛේදාන්තය පැමිණියේය. පණිවුඩය කියාතිබුණේ ඇගේම යෙහෙළියකි.

 අබමල් රේණුවක තරම් වත් ඒ මොහොතේ ඇගේ සිත තුළ  සැකයක් නොවුණත්, එකම බංකුවක තුරුළුව සිටි ඒ යුවළ දු‍ටු මොහොතේ ඇගේ සිත ගිනිගත්තේය. 
 ඒ මොහොතේ දැණුන හැඟීම් විස්තර කිරීම අද ද ඇයට කළ නොහැක්කකි. ඇය සිතාසිටි, ගොඩ නගාගෙන සිටි සම්බන්ධතාවට නමක් නොවීය. ඔහු පසුව කියා තිබුණේ  ' ඔබට මගේ හොඳම යෙහෙළිය විය හැකි බවයි. ' 

ජීවිතයේ ඉතිරි දිගු ගමන  එක්ව යන බවට ඔහු කිසිදා පොරොන්දුවක් දී නොතිබුණ බව ඇයද පිළිගත්තාය.

 එහෙත්,
 ඒ ඇයගේ ප්‍රථම ප්‍රේමය නොවේ නම් අන් කවරක්ද? 

ඇය එතෙන් සිට අධ්‍යාපනයට ආයුබෝවන් කීවාය. සට සට ගා බිම වැටෙන කඳුළු වලින්ද වෙව්ලන හදවතින් ද හැම මොහොතකම අතීතයේ ජීවත් වූවාය. කිසිඳු ආහාරයක් ගැන ඇයට පිරියක් නොවීය. නින්ද ඇය කරා පැමිණියේ කලාතුරකිනි. නිමා නොවන හිස රුදාවකින් ඇය පීඩා වින්ඳාය. එහෙත් තවමත්  ඔහුට දෝෂාරෝපණය නොකරන්නීය. කිසිවකු ඔහුට බණින්නේ නම් එය නොකරන්නැයි ඉල්ලා සිටින්නීය.  

මළානික  ඇස්වලින් සිවිළිම දෙස බලාසිටින ඇය  ප්‍රතිකාර සමඟ පියවි ලෝකයට පැමිණ සිටින්නීය. එහෙත් ප්‍රථම ප්‍රේමය  වෙනුවෙන් ඇය විසින් ගෙවන ලද වන්දිය සුළු ප‍ටු නොවේ. 
ඇයට කළ හැකි හැම දෙයම කළ පසු , අවසානයේ ඇය මරණය ‍තෝරාගැනීමට උත්සාහ කළාය. එය ‍රැවටීමක් බවද නිරර්ථක උත්සාහයක් බවද තේරුම් ගැනීමේ ප්‍රඥාවක්  ඇයට ඒ මොහොතේ  නොවීය. 
ඇය බඳු දහස් ගනනක් මේ තත්වයට මුහුණදී ඇතිබව ඇය දන්නේ දැන් ය. අකලංක ප්‍රේමයේ පල හටගන්නේ නැතැයි මා කියූ විට ඇය විපිළිසරව මා දෙස බැලුවා ය.

'' ඇයි ළමයෝ කලංකයක් නෑනේ. ඒකයි. '' 
මා කියූ විට  ඇය යාන්තමින් සිනාසුනාය. 
ඒ සිනහව දකින්නට අපි බොහෝ දිනක් බලා සිටියෙමු.





දැන් ඇගේ කාමරයේ ජනේලයට ඔබ්බෙන්  ඇති අඹ ගසෙහි මල් පිරී ඇත.
 ඒ පළමු මල් අස්වැන්නය,
 මේ සියලු මල්වලින් ගෙඩි සෑදී ගහ පල බර වනු ඇතැයි  සිතිය යුතු නොවේ. 
පළමු  මල් අස්වැන්නට ලොල්ව ඉන් උපරිම අස්වනු පැතීම මෝඩ කමකි.
 ඒ 'බොරු මල්' හැළී ගිය පසු යළි මල් පිපී පල දරනු නිසැකය. 
කිසිඳු විටෙක කාලය අකෘතඥ වන්නේ නැත.

                                   
                   
                    -- වෘත්තීය මාර්ගෝපදේශන උපදේශක , අජිත් ජයවර්ධන.





No comments:

Post a Comment