Tuesday, January 15, 2013

සිහිනය


'' මගේ සිහිනය කුමක්දැයි කියා ලෝකයා දන්නේ නැහැ...


ඒත්....
මම ඒ සිහිනය දකින බව මම වගේම ඒ සිහිනයේ ඉන්න කෙනාත් දන්නවා.
ඒත් සිහින ලෝකයෙන් යථාර්තයට පය තියන්න අපි දෙන්නම බයයි වගේ.
මට බයයි , යථාර්තයේදී ඒ සිහිනය මගෙන් ඈතට  යාවි කියලා.
ඒ නිසාම මම  සිහින දැහැනට ආදරෙයි.

අදත් ඔයා බස් එකට නැග්ගා.
මගේ දිහා බලලා , හරිම ලස්සනට හිනා වුණා.


 ''සුදු නංගී පට්ට ලස්සනයි බං''

Friday, January 11, 2013

පළමු මල් අස්වැන්න












අපි දෙන්නා හිටියේ එකම නැ‍ටුම් පන්තියේ. 
එයා මට වඩා මාස ගණනක් බාලයි, මුල් දවස්වල මං කිව්වේ මල්ලී කියලා. පොඩි දවස්වල ඉඳලම මං නැ‍ටුම් වලට ආසයි.  අනෙක, මං හැදුණෙත් කොල්ලෙක් වගේ දඩබ්බර විදියට.නටන්න විතරක් නෙමේ; චිත්‍ර අඳින්න , නිවේදන කටයුතු කරන්නවගේ දේවලුත් මට හොඳට පුළුවන්.

මගේ පාසල් කාලය ගෙවුණේ බාලිකාවක.  ඒත්, කලායතනේ නිසා මට පිරිමි ළමයි එක්ක  නටන්න , ගයන්න , ජීවත් වෙන්න ලොකු අවස්ථාවක් ලැබිලා තිබුණා. වර්ෂ අවසානේ අපි විනෝද චාරිකාවක් යමින් හිටියෙ. මගේ ගම් පළාතෙන් යන නිසා පාර පෙන්නමින් මං හිටියේ රියදුරු අසුන ළඟ.  අර මල්ලිත් ඉස්සරහට ඇවිත් පාර පෙන්නුවා. එයා ඒ පළාතේ නොවුණත් එහේ ටියුෂන් ආව බව කිව්වා. අන්න ඒ මොහොතේ තමයි මං කවදාවත් අපෙක්ෂා කරපු නැති දෙයක් සිද්ධ වුණේ. 

ඉස්සරහා ආසනේ ගාව නැමිලා දකුණු අත පාර දිහාට දිගුකරලා පෙන්වන අතරේ මගෙ  අතට උඩින් ගිය ඔහුගෙ වම් අත මගේ අතේ ස්පර්ශ වුණා. මගේ මුලු සර්වාංගයම හිරිවැටිලායන, කිසිම දවසක  වචනවලින් කියන්න බැරි ස්පර්ශයක් ඒක.
කොල්ලොත් එක්ක ඕනතරම් අතින් අල්ලගෙන නටලා, සිංදු කියලා, දුවලා, පැනලා තියෙන මට මේ තත්පරය තෙරුම් ගන්න බැරිතරම් ආගන්තුකයි. ඒ චකිතයත් එක්කම මං හෙමිහිට ඇස්දෙක කරකවලා බෙල්ල පොඩ්ඩක් හරවලා සීරුවට ඔහු දිහා බැලුවා. ඔහුගේ ඇස්දෙක පාර දිහාට යොමුවෙලා තිබුණෙ. අපි කොයිතරම් ළං , ළංව සිටියාද කියනවානම් ඔහුගෙ සුසුම්වල උණුසුම මගේ කම්මුල්වලට දැණුනා. බෙර ගහලා තුවාල වෙලා තිබුණ අත්වල ගාලා තිබුණු බෙහෙත් තෙල් සුවඳ මගේ නැහැයට දැනුණා. මගේ පපුව කවදාවත් නැති තරම් තදින් උණුසුම්ව ගැහෙනබව මට තේරුණා. ඇස් දෙක පියාගන්න තරම් ලෝබකමක් දැනුණ ඒ නිමේෂයේ මම එතැනින් නැගිටලා පැනලා ගියා. ඒ දැනුන හැඟීම තෙරුම් ගන්න මිසක් ඒකට නමක් දෙන්න මට ඕන වෙලා තිබුණෙ නෑ.

ඊට පස්සේ හැම මොහොතකම මගේ ඇස් දෙක එයාව හෙව්වා. මට හැර වෙන කාටවත් සැක හිතෙන ජාතියේ ඇසුරක් නෙවෙයි අපි අතරෙ තිබුණෙ. දවසක් රෑ වුණ නිසා මං මල්ලිගෙ බයිසිකලෙන් බෝඩිමට ආවා. කළුවර ගලමින් තිබුණ වැහි අඳුර එබිකම් කරන ඒ හැන්දෑවෙ ගස්වැල් තාලයට නටමින් අපි දිහා බලාගෙන හිටියා. මගෙ දිගු කෙහෙ‍රැලි එයාගේ මුහුණට වදදෙනකොට අර එදා බස් එකෙදී දැණුණ උනුසුම් සුසුම් ආයෙත් මගේ කම්මුල ළඟ ඳඟ කළා.  ඒ  සොඳුරු තත්පරයේ නිහඬ බව බිඳිමින් ඔහු මෙහෙම කිව්වා.

'' ඔයාට අක්කා කියන්න මට ලෝබ හිතෙනවා.''